iranama
දරුපල ගෙනදෙන ග්‍රහ මණ්ඩල පිහිටීම්
යුග දිවියට පත්වන ඕනෑම කෙනෙකුගේ ප්‍රාර්ථනාව වන්නේ ආයු, බල, වර්ණ, සැප, නිරෝගී සම්පත්තියකින් හෙබි දරුවෙකු ලබාගැනීමය. දරුවෙකුගේ කිරි සිනහ දකිනතුරු ඔවුන් පසුවන්නේ නොඉවසිල්ලෙනි. සමහරක් යුවතිපතින් දරුවන් බලාපොරොත්තු වුවද දරුවන් ලැඛෙන්නේ නැත. සමහරක් අයට නොසිතූ ලෙස, නොපැතූ මොහොතකදී දරුවෙකුගේ කිරි සිනහ දකින්නට වාසනාව උදාවේ. ජීවිතයේ අනේකවිධ ප්‍රශ්නවලට මුහුණදෙමින් හෙම්බත්ව සිටින අය යම් සැනසීමක් හෝ ලබන්නේ පුංචි දරු පැටියාගේ දගකාරකම් දුටු විටය.
ඔබේ අත්ලේ රේඛාවලින් දරුපල ගැන ද කියවෙන බැව් ඔබ මෙතෙක් නොදන්නවා වෙන්නට පුළුවන්. ඔබ දරුපල රේඛා පිහිටන ස්ථානයන් පිළිබඳ සරල අවබෝධයක් හෝ ලබාගතහොත් ඔබේ අනාගතය පිළිඔඳ ඔබටම දැනගත හැකිවේවි. අත්ලෙහි දරුපල රේඛා පිහිටන ස්ථාන පිළිබඳ මුලින්ම අපි අවධානය යොමු කරමු.
රූප සටහනේ අංක 1 ට අනුව සිකුරු මණ්ඩලය පිහිටා ඇත්තේ ජීවන රේඛාවට සහ මහපට අගිල්ලට සම්බන්ධ ස්ථානයේය. මෙය සාමාන්‍යයෙන් තරමක් විශාල ග්‍රහ මණ්ඩලයකි. ගෘංගාරය, ධාතු ශක්තිය ඇතිවීම කෙරෙහි බලපානු ලබන්නේ සිකුරු ග්‍රහයාය. යම් පුද්ගලයෙකුගේ සිකුරු දුබලව පිහිටා තිබේ නම් දරුවන් ලබාදෙන ධාතු ශක්තිය හීන වේ. මෙවැනි ජන්මීන්ගේ දරුවන් ශාරීරික වශයෙන් දුර්වල වීමට හෝ අංග විකල විකෘති දරුවන් බිහිවීමට හෝ ඉඩ තිබේ.
සිකුරු මණ්ඩලය පහතින් වැටෙන රේඛා ද දරුපල ප්‍රකාශ කිරීම සඳහා යොදාගනී. මණිබන්ධ රේඛාවට සම්බන්ධ කුඩා රේඛාවලිනුත් දරුපල ගැන අනාවැකි පළකළ හැකියි. මණිබන්ධ රේඛාවේ පළමු රේඛාව වක්‍ර අර්ධ කවාකාර ආකාරයෙන් පිහිටා ඇත්නම් දරුවන් බිහි කරන ඉන්ද්‍රියන්වල විවිධ වෙනස්කම් හා වේදනාවන් ඇති කරයි.
දරුපල රේඛා පිහිටන ස්ථාන හා මණ්ඩල පහකි. අංක 2 රූප සටහනට අනුව දැක්වෙන්නේ සුළැගිල්ල පාමුල පිහිටි විවාහ රේඛා පිහිටන ස්ථානයයි. මෙහි දැක්වෙන කුඩා රේඛා දරුපල රේඛා වශයෙන් හඳුන්වයි. මෙහි නොපෙනෙන රේඛා ගැහැනු දරුවන් ද, කැපී පෙනෙන රේඛා පිරිමි දරුවන් ද වේ. බුධ මණ්ඩලය තුළ විවාහ රේඛා පිහිටන අතර ඊට සම්බන්ධ රේඛා ඉතා වැදගත් වේ.
අංක 3 රූප සටහනේ පෙන්වා ඇත්තේ හෘද රේඛාව හා ශිර්ෂ රේඛාව අතර පිහිටි දෙවැනි කුජ මණ්ඩලයයි. මෙම ස්ථානය මත ද දරුපල රේඛා දක්නට ලැබේ.
අංක 4 රූප සටහනෙහි දක්වා තිඛෙන දරුපල රේඛා හා සම්බන්ධ වන්නේ මහපට අගිල්ලයි. මෙය සෙනසුරු ඇගිල්ල වශයෙන් ද හඳුන්වයි. මෙහි වැටෙන රේඛා දරුපල රේඛා ලෙසද හඳුන්වනු ලැබේ. මෙහි සෘජුව වැටෙන රේඛා දරුපල රේඛාවන්ය.
සුළැගිල්ලේ මැද පුරුකේ වැටෙන රේඛා රූප සටහනේ අංක 5 න් දැක්වේ. මෙය බුධ ඇගිල්ලයි. මේ අගිල්ලේ ද කැපී පෙනෙන රේඛා පිරිමි දරුවන් ලෙසත්, කුඩා රේඛා ගැහැනු දරුවන් ලෙසත් හඳුන්වයි.
අංක 6 න් දැක්වෙන්නේ මහපට අගිල්ලේ මුල් පුරුකය. සිකුරු මණ්ඩලයට උඩ කොටස හා කුජ මණ්ඩලයට කෙලින් මෙම දරුපල රේඛා දම්වැල් ආකාරයෙන් මේ පුරුක දිගේ වැටී ඇත.
සමහර අවස්ථාවල දෙදෙනාගේම දරුපල රේඛා පිහිටියත් දරුවන් නොමැති අවස්ථා දක්නට ලැබේ. ඊට හේතුව වන්නේ එක් අයෙකුගේ සිකුරු මණ්ඩලය දුර්වල වීමයි. මෙම දරුපල රේඛා විවාහ නොවූ අයගේ ද හොඳින් පිහිටා ඇත. එසේම පූජ්‍ය පක්ෂයේ ද මෙම රේඛාව දක්නට ලැබේ. ඊට හේතුව වන්නේ විවාහ නොවුණද තමන්ගේ කිට්ටු සහෝදර, සහෝදරියන්ගේ දරුවන්ව තමන්ගේ දරුවන්ව හා සමානව ඔවුන් බලා ගන්නා නිසාය. පැවිදි පක්ෂය ගත්විට තම ගෝලයන්ව ඔවුන් රැකබලා ගන්නේ ද තම දරුවන් හා සමානවමය.
මෙම දරුපල රේඛා පරීක්ෂා කිරීමේදී ඉහත සඳහන් කළ ස්ථාන පහේම පිහිටීම හොඳින් දක්නට ලැබේ නම් ඔවුන්ට දරුවන්ගේ කිසිඳු අඩුවක් නම් නැත. එහෙත් විවාහ රේඛාව සහ හෘද රේඛාව අතර පිහිටන දරුපල රේඛා හොඳින් පිහිටා නොතිබේ නම් හෝ පිහිටා නැතිනම් වෙනත් ස්ථානවල දරුපල රේඛා තිබුණ ද ඉන් පලක්වන්නේ නම් නැත.